Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 24, 2018

සිරියාවේ ගුවන් ප්‍රහාර වලින් 400ක් මියයයි

18 වැනි දින සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇතැයි වාර්තා වේ.  රුසියානු සහ සිරියානු ගුවන් හමුදා ඉරිදා සිට අඛණ්ඩව මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර මෙම ප්‍රදේශය සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්‍රදේශය යැයි ද පැවසේ. ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 2,200 ඉක්මවා ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කර ඇත.  


වසර 8 පුරා පවතින සිරියානු සිවිල් යුද්ධයේ මිලේච්ඡතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම් දාමය හඳුන්වා දී තිබෙන අතර නැගෙනිර ගූථා ප්‍රදේශයේ සිදුවන සටන් නවතා සිවිල් වැසියන්ට ආහාර, වෛද්‍ය ප්‍රතිකාර යනාදිය ලබාදීමට ඉඩකඩ සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටිය ද කිසිදු පාර්ශවයකින් ඊට යහපත් පිළිතුරක් නොලැබිණි.
 
නැගෙනහිර ගූථා හි ඇති වී තිබෙන තත්ත්වය 22 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට ගැනුණු අතර දින 30ක සටන් විරාමයක් කැඳවන්නැයි යෝජනාවක් ඉදිරිපත් විය. කෙසේ නමුත් එම යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව රුසියාව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් 23 වැනි දින පැවැත්වේ.