Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

කැබිනට් වෙනස මේ සතියේ: ජනපති-අගමැති අතර හමුවක්

නව පූර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා රජයේ සම කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

නව අමාත්‍ය මණ්ඩලය විද්‍යාත්මක හැදෑරීමක් යටතේ සකස්කර ඇති අතර එම කැබිනට් මණ්ඩලය පිළිබඳ ‍ලේඛනය ජනාධිපතිවරයා මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පසු සාකච්ඡා කිරීමෙන් අනතුරුව පූර්ණ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් රජය නව වැඩපිළිවෙළක් දියත් කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.  නව කැබිනට් සංශෝධනය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිවරයා සහ අගමැතිවරා අතර මෙම සතිය තුළදී පැවැත්වීමට නියමිතය. නව ඇමැතිවරුන්ගේ  විෂය පථයන් වෙනස් කිරීම සහ විද්‍යානුකූල ලෙස සකස් කළ අමාත්‍යාංශය සඳහා අනුමැතිය ලබා දීම මෙම සාකච්ඡාවේදී සිදුවනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවැසීය.

මේ වන විට ඉතා සාර්ථකව සිය අමාත්‍යාංශවල කටයුතු පවත්වාගෙන යන ඇමැතිවරුන්ගේ අමාත්‍යධුර නව කැබිනට් සංශෝධණයේදී කිසිදු වෙනසකට ලක් නොවන බවද එම ආරංචි මාර්ග පැවැසීය. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර දැරූ කිහිපදෙනකුට නව කැබිනට් ඇමැතිධුර ද මන්ත්‍රීවරු කිහිප දෙනකුට නියෝජ්‍ය ඇමැතිධුරද නව කැබිනට් සංශෝධනයේදී හිමිවනු ඇත.