Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කරයි

තම රට න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කරන බව උතුරු කොරියා නායකයා නිවේදනය කරයි. එරට පාලක පක්ෂයේ හත්වන මධ්‍යම කමිටුවේ තුන්වෙනි පූර්ණ සැසිය අමතමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

මෙය ඇමරිකාව සමග පවතින මතභේද අවසන් කිරීමේ අපේක්ෂාව සහ කොරියා අර්ධද්වීපයේ නිර්න්‍යෂ්ටිකකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ ‍අභිලාෂය පිළිබිඹු කෙරෙන සංඥාවක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දකුණු කොරියා ජනාධිපතිවරයා සාම ගම්මානයේදී හමුවීමට දිනකට පෙර මෙම නිවේදනය සිදු කිරීමද විශේෂත්වයකි. කොරියා විප්ලවයට හිතකර අන්දමින් සියළු තත්ත්වයන් වේගයෙන් වෙනස් වෙමින් පවතින බවද උතුරු කොරියා නායකයා පෙන්වා දුන්නේය. රට ආර්ථික වශයෙන් සංවර්ධනය කර ජන ජීවිත ඉහළ නැංවීමට සියළු උත්සහයන් දැරීමට කාලය එළඹ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කරන බවට කර ඇති ප්‍රකාශය ඉතා හොඳ ප්‍රවෘත්තියක් බව ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කරයි. එය විශාල ප්‍රගතියක් බවටද හෙතෙම ප්‍රකාශ කර ඇත.