Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති - අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

තෛයිනිකායික මහා සංඝරත්නය සහ බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති  ඇමැතිවරුන් ද සහභාගී වන මෙම උත්සවයේ දී වෙසක් සමරු මුද්දර නිකුත් කිරීම සහ ධර්ම ශාස්ත්‍රීය පොත් එළිදැක්වීම ද සිදු කෙරේ. උත්සවය අවසානයේ බිංගිරිය ජාතික වෙසක් කලාපය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කිරීමට නියමිතයි.

මැයි 02 වැනි දින දක්වා පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් උත්සවයේ දී පුරාවිද්‍යාත්මක, අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශන, වෙසක් පහන්කූඩු නිර්මාණ, භක්ති ගීති සහ බොදු ගී වැඩසටහන්, වෙසක් නාට්‍ය, ඡයාරූප හා චිත්‍ර ප්‍රදර්ශන, වැඩසටහන් ද පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මේ අතර ඉදිරි දිනවල දී ක්‍රියාත්මක කෙරෙන සියලු දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදු කෙරේ. උපදෙස් පිළිනොපදින දන්සැල් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.