Social Icons

facebookrss feedemailtwitter

Thursday, April 26, 2018

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම ඉදිරියේදී Online ක්‍රමයට

දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කර ගනිමින් මාර්ග ගත ක්‍රමයකින් (Online System) සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන දියත් කිරීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දී සිදුකෙරිණ. වාර්ෂිකව ලක්ෂ හයකට අධික සහතික ප්‍රමාණයක් ප්‍රතිඵල සනාථ කිරීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් දිවයිනේ කලාප කාර්යාල වලින් ලැබෙන ඉල්ලීම් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම විභාග සහතික සනාථ කිරීමේ ක්‍රියාවලිය විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මඟින් මෙතෙක් සිදුකෙරුණු අතර, සනාථ ඉල්ලීම් සිදුකොට නැවත අදාළ කාර්යාල වෙත යැවීමේ දී සිදුවන ප්‍රමාද දෝෂ, කල්ගතවීම් වළක්වා ගැනීමට මෙම Online ක්‍රමය හඳුන්වා දී තිබේ. මේ හරහා කලාප කාර්යාල වලට ප්‍රතිඵල සනාථ කිරීමේ බලය විමධ්‍යගත කර ඇති අතර, මෙය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය කිසිදු ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකිරීම මෙම මාර්ග ගත ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ බවත්, මෙය අතිශයින් රහස්‍ය සේවාවක් වන බැවින් තොරතුරුවල ආරක්ෂාව මෙන්ම භාවිත කරන්නන් මගින් සිදුකළ හැකි වංචා පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නියාමනය කළ හැකි විධිවිධාන ද මේ වනවිටත් සලසා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.