Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ට්‍රම්ප් ගේ හිතුවක්කාර ක්‍රියා කලාපයට කලාපයේ බලපෑම

කවුරු කුමක් කීවත් ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවෙන් තමන් ලබන 12 වැනි දින ඇමරිකාව ඉවත් කර ගන්නා බව, ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සීමා කරමින්, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම වළක්වමින්, එරට සමඟ ලෝකයේ ප්‍රබල රටවල් මෙම න්‍යෂ්ටික එකඟතාව ඇතිකර ගත්තේ 2015 වර්ෂයේදීය.

ඒ වන විට ඇමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. ඉරානය සමඟ එකඟතාවක් ඇතිකර ගත් රටවල් වන්නේ ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, චීනය සහ රුසියාවයි. එම එකඟතාවට අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කළේය.


න්‍යෂ්ටික බලාගාර නිරීක්ෂණය සඳහා විදෙස් නියෝජිතයන්ට එරටට පැමිණීමට අවසර ලබා දුන්නේය. ඒ අනුව, ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කළේය. ඉරානයට යළි ඔවුන්ගේ තෙල් විකිණීම පවා සිදු කිරීමට හැකියාව ලැබුණේ ඒ අනුවය. ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා 2015 වසරේ දී මෙම න්‍යෂ්ටික එකඟතාව ඇති කර ගැනීමට කටයුතු කරද්දී, ඇමෙරිකාවේ සමීපතම හිතවතකු වන ඊශ්‍රායලය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීය. ඊශ්‍රායලය සහ ඉරානය අතර එදිරිවාදිකම් පවතී. ගිවිසුමෙන් පසු ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර හිතවත්කම් පවා පළුඳු විය. වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ සමීපතම මිතුරෙකි.


ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම යැයි තීරණය කරමින් ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කළේ ද ජනපති ට්‍රම්ප් විසිනි. ඇමරිකානු ජනපතිවරයා ඉරාන න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වෙන්නේ, ඊශ්‍රායලයේ බලපෑම් අනුව යැයි චෝදනා එල්ල වෙමින් පවතී.

ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් ඉවත් නොවන්නැයි ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇමෙරිකා ජනපතිගෙන් ඉල්ලා සිටී. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පසුගිය දා ඇමෙරිකාවේ සංචාරයකට ගියේය. එහිදී ට්‍රම්ප් හමුවී න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් නොවන්නැයි ඉල්ලීමක් කළේය. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ද අමතමින් මැක්රොන් ඒ බව අවධාරණය කළේය. කෙසේ නමුත් තම තීරණය වෙනස් නොකරන බව ජනපති ට්‍රම්ප් තරයේ කියා සිටියේය.


මේ අතර ඉරාන න්‍යෂ්ටික එකඟතාවෙන් තමන් කිසිම අවස්ථාවක ඉවත් වන්නේ නැති බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රතිඥා දී ඇත. මේ අතර යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ජනපති ට්‍රම්ප්ට පවසා ඇත්තේ න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර නොගන්නා ලෙසයි.