Social Icons

facebookrss feedemailtwitter

Monday, May 14, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරය අවසන් කර යළි දිවයිනට

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුවේදී අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් තැබේ.

ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් උත්සවයක් සංවිධානය කර තිබිණ. නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණ. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉරාන රජයේ සහය ඉදිරියේදී ද අපේක්ෂා කරන බවයි. ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීමට ද නායකයින් එකඟ වූහ.

ශ්‍රී ලංකවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඉරාන රජයේ සහය ලබා ගැනීම පිළිබඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගන්මින් දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පුළුල් කර ගනිමින් දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් පේෂකර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබඳවත් අවධානය යොමු විය.

ඉරානය සහ ලංකාව අතර පවතින ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සඳහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන් අතර ඒ සදහා ඉතා ඉක්මණින් ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේය. සෞඛ්‍ය, වෛද්‍ය විද්‍යාව, ඖෂධීය සහ වෛද්‍ය උපකරණ, ප්‍රමිතිකරණය, මිනුම්විද්‍යාව හා පුහුණුව, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, සිනමාව සහ රූපවාහිනි සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් 05 කට මෙහිදී අත්සන් තැබිණ.‍