Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

පනත සම්මත වී මාස 5යි: මහාධිකරණ විනිසුරුවන් තවම නෑ

මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 ක් දක්වා ඉහළ දැමිමේ පනත සම්මත වී මාස 5ක් ගතවුණත් තවමත් විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ දමා නැතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

75ක් වූ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110 දක්වා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 35කින් ඉහළ දැමීමට අදාළ පනත සම්මත කළ බවද පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීවේය. මහාධිකරණ විනිසුරුවරුන් අධිකරණ සේවා කොමිසමේද අදහස් ලබාගෙන පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ස්ථීර මහාධිකරණ පිහිටුවීම සඳහා හැකි ඉක්මනින් මේ මහාධිකරණ විනිසුරුවරුන් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය. මහාධිකරණයේ නඩුවක් විභාග වීමේ සාමාන්‍යයෙන් වසර 14ක කාලයක් ගත වන බවත් සමහර නඩු විභාග කොට අවසන් කිරීමට වසර 25ක් පමණ ගතවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ස්ථීර මහාධිකරණ පිහිටුවීම සඳහා පනතක් ගෙනා බව කී ඇමැතිවරයා ස්ථිර මහාධිකරණයක විමසිය යුතු නඩුව කුමක්ද යන අවසන් තීන්දුව ගැනීමේ බලය අගවිනිසුරුවරයාට පැවැරීමේ බලය හිමිවන සංශෝධනයත් සමග පාර්ලිමේන්තුවේ සියලු දෙනාම මෙම පනතට එකඟත්වය පළ කළ බවද කීවේය.

මූල්‍ය දුෂණ, බරපතළ අපරාධ මනුෂ්‍ය සහන යනාදී නඩු විභාග කිරීම සඳහා මෙම ස්ථිර ත්‍රීපුද්ගල මහාධිකරණ පිහිටුවන බවද ඒ මහතා සඳහන් කළේය. නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා රජයේ අධිනීතිඥයන්ගේ සංඛ්‍යාව 113 සිට 213 දක්වා 100කින් වැඩි කරන අතර අධිනීතිඥ වැටුපද අනෙකුත් රජයේ සේවකයන්ට වඩා ඉහළින් තියන්න හැකි වූ බවද ඒ මහතා කීවේය. අධිකරණ අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් ගැසට් කර ස්ථීර මහාධිකරණ තුනක් පළමුව බස්නාහිර පළාත තුළ ඇති කරන ලෙස යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.