Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

දකුණු අප්‍රිකානු හිටපු ජනපතිට 7 වරටත් සුභ මංගලම්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා මේ වනවිට පසුවන්නේ 76 වෙනි වියේ ය. පසුගිය දිනවල ඔහු ලෝක ජනමාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව සිටියේ වංචා දූෂණ චෝදනා නිසා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවීම නිසාය.


නමුත් මේ දිනවල ඔහු නැවතත්  පුවත් මවන්නෙකු බවට පත්ව සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් හේතුවෙනි.


එනම් ඔහු නැවතත් විවාහ වීමට යන බවට පලවෙන ආරංචියත් සමගයි.  මෙය ඔහුගේ හත්වෙනි විවාහය නිසා මේ පිලිබඳ විශාල මාධ්‍ය අවධානයක් යොමු වෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. මෙම කතාවෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහුගේ හත්වෙනි බිරිඳගේ වයස අවුරුදු 24 ක් බව වාර්තා වීමයි.  මේ අනුව ඔවුන් දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 52 කි. ඇය සූමාගේ ලාබාලතම බිරිඳ වනු ඇති බවද පැවසේ.


සූමා මේ වනවිට සය වරක් විවාහ වී තිබේ. ඔහු සූලු (Zulu)  ගෝත්‍රික ජනයා අතර පවතින බහු විවාහ සම්ප්‍රදාය පිලිගන්නා කෙනෙකු ලෙස ද සැලකේ. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ 1973 දීය. ඒ වනවිට ඔහු සිරගෙදරින් නිදහස ලබා පැමිණ ගතව තිබුණේ වසරක කාලයකි. සූමා දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ පෙරමුණේ සිටි නායකයෙකු වූ අතර නෙල්සන් මැන්ඩෙලා මෙන්ම දිගු කලක් සිර දඬුවම් විඳිමින් සිටියේය.

ඔහුගේ පළමු බිරිඳ වූයේ සිසකෙ‍ලේ  කුමාලෝ ය. ඊට වසර තුනකට පසු 1976 දී ඔහු සිය දවෛනි බිරිඳ සමග විවාහ විය. කේට් මන්ත්ෂෝ නම් වූ ඇය  2000 වසරේ සිය දිවි නසා ගත්තාය. ඒ නිදිබෙහෙත් සහ මැ‍ලේරියාව සඳහා ලබා දෙන බෙහෙත් අධික මාත්‍රාවෙන් ගැනීමෙනි. එයට හේතු වූයේ ඇය විෂාදය (depression) නැමැති මානසික ආබාධයෙන් පෙලෙමින් සිටීම බවද අනාවරණ වූ අතර ඒ වනවිට ඇය සහ සූමා අතර විවාහය තුළ විවිධ ප්‍රශ්ණ උත්සන්න වෙමින් තිබූ බවද සඳහන්. සූමා සිය තුන්වැනි බිරිඳ සමග විවාහ වූයේ 1982 වසරේ ය. ඇගේ නම න්කොසසානා ද්ලාමිනි ය. 1998 වසරේ දී ද්ලාමිනි ද සූමාගෙන් දික්කසාද වූවාය. නමුත් තවමත් ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් ලෙස ඇසුරු කරන බව සඳහන් වෙයි. තමාගෙන් පසු ද්ලාමිනි දකුණු අප්‍රිකාවේ ජනාධිපති පදවියට ගෙන ඒමට සූමා බලා‍පොරොත්තුවෙන් සිටි බවද රහසක් නොවේ.

සූමා ගේ විවාහයන් අතරින් වඩාත්ම ආන්දෝලනාත්මක එකක් ලෙස සැලකෙන්නේ 2008 සිදු වූ නොම්පුමෙලෙලෝ න්ටුලි සමග විවාහය යි. මෙම විවාහය ආන්දෝලනාත්මක එකක් වූයේ ඇය සූමාට වස දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කාරියක වූ බවට චෝදනා එල්ල වීම නිසාය. මෙම තත්ත්වය තුළ පසුව සූමා ඇයගෙන් වෙන්ව ජීවත් වූ බව සඳහන්වේ.

2010 සහ 2012 වසරවල ඔහු තවත් බිරියන් දෙදෙනෙකු සරණ පාවා ගත්තේය. ඒ පිලිවෙලින් තොබේකා මදිබා සහ ග්ලෝරියා න්ගෙමා යන දෙදෙනායි. දික්කසාද වූ ද්ලාමිනි සහ දිවි නසාගත් කේට් මන්ත්ෂෝ හැරුණු විට ඉතිරි සිව් දෙනාම තවමත් සූමාගේ බිරියන් ලෙස සිටිති.

ඒ අනුව මේ වනවිට ඔහුට නිල වශයෙන් බිරියන් සිව් දෙනෙකු සිටින අතර දැන් විවාහ වීමට යන නොන්කැනිසෝ කොන්කෝ පස්වැන්නිය බවට පත් වේ. කොන්කෝ සහ සූමා අතර සම්බන්ධය පවතින්නේ 2013 වසරේ පමණ සිට බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. එය සත්‍යයක් නම් ඒ වනවිට කොන්කෝගේ වයස අවුරුදු 19 ක් පමණ වන්නට ඇත. ඇය ඒ කාලයේ පටන්ම නිතර සූමා සමග කාලය ගත කළ බවද පැවසේ.