Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

රථවාහන ආනයනට වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ සදහා නව නීතියක්

රථවාහන ආනයනය කිරීම සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි, මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකු වල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවන ලදී. මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කිරීම සියයට සියයක අවම මුදල් ආන්තිකයක් යටතේ පමණක් සිදුකළ යුතුය. සාර්ව ආර්ථික ස්ථායිතාවට තර්ජනයක් විය හැකි මෑත කාලීන ප්‍රවණතාවන් පදනම්ව මෙලෙස ආන්තික මුදල් අවශ්‍යතාව පැනවීමට තීරණය කර ඇත.

මෙම ප්‍රවණතාවන් වන්නේ : මෑත කාලීන ගෝලීය මූල්‍ය වෙළඳපොළ උච්චාවචනය සහ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්ගේ ව්‍යවහාර මුදල් මත ඇති වී ඇති පොදු පීඩනය. විදේශ විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකයන් සහ අයවැය ක්‍රියාමාර්ගයන් සම්බන්ධව ඉදිරිකාලයේ ඇති විය හැකි වෙනස් වීම් පිළිබඳ  අනිසි පුරෝකථනයන් හේතුවෙන් අඛණ්ඩව අධික ලෙස මෝටර් රථ ආනයනය කිරීමයි. ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පැනවීම මෙන්ම මෝටර් රථ ආනයන මත පනවන ලද බදු සම්බන්ධයෙන් රජය මඟින් දැනටමත් ගෙන ඇති පියවර මඟින් ද අත්‍යවශ්‍ය නොවන මෝටර් රථ ආනයනය සීමාවනු ඇති බවත් ‍එමඟින් ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුම මත හා විනිමය අනුපාතිකය මත ඇති වී තිබෙන පීඩනය ලිහිල්වනු ඇති බවත් අපේක්ෂා කරයි.