Social Icons

facebookrss feedemailtwitter

Monday, July 9, 2018

යුනෙස්කෝ ලෝක උරුමයන් අතරට එක්වූ නව සාමාජිකයින්

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානය විසින් ලොව වටා ඇති සංස්කෘතික, ඓතිහාසික සහ විද්‍යාත්මක වටිනාකම් සහිත කලාප කීපයක් නව ලෝක උරුම ලෙස නම් කිරීම පසුගියදා සිදුවිය.
ඒ එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානයේ නිලධාරීන් බහරේන් නගරයේ පවත්වන ලද වාර්ෂික සමුළුවේදීය. මෙම නව ලෝක උරුම කලාප අතර විශේෂිත ස්ථානයක් ගන්නා කලාප කීපයක් වේ.

නැගෙනහිර ඕමානයේ කල්හට්හි ඓතිහාසික වරාය නගරය ඉන් එකකි. 11 වන සියවසත් 15 වන සියවසත් අතර කාලය තුළ ඉඳිකරනු ලැබූ බවට සාක්ෂි ඇති මෙම නගරය එම කාලයේ ඉතා කාර්යබහුල වරායක් ලෙස පැවතී තිබේ. දිනකට ටොන් දස ලක්ෂය ඉක්මවූ භාණ්ඩ මෙම නැව් තොටින් ප්‍රවාහනය කර තිබූ බවට ද සාක්ෂි ඇත. මේ නිසාම මෙය අද්විතීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව යුනෙස්කෝව ප්‍රකාශ කර තිබේ.
ජපානයේ නාගසාකි නගරයේ පිහිටා ඇති සැඟවුණු ක්‍රිස්තියානි කලාපය ද නවලෝක උරුම කලාපයක් ලෙස නම් කරනු ලැබිණි. ජපානය ක්‍රිස්තියානි ඇදහිලි තහනම් කර තිබූ 18 සහ 19 වෙනි සියවස්වල මෙය ඉඳිකරනු ලැබූ මෙම කලාපය පිහිටා තිබෙන්නේ කුඩා ගම්මාන 10 කින් පමණ සමන්විත ජපානයේ ක්‍යුෂු දුපතේය.

ක්‍රිස්තියානි මිෂනාරීවරුන්ට ජපානය තුළ ක්‍රිස්තියානි ඇදහිලි තහනම් කළ පසු රහසින් ඉදිවූ මෙම ස්ථානය ස්වභාවික සෞන්දර්යාත්මක වටිනාකමක් ද සහිත ස්ථානයක් බව යුනෙස්කෝව පවසයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ ඇති ගොතික් ගෘහනිර්මාණ ශිල්ප සහිත ගොඩනැගිලි සමූහය 19 වෙනි සියවසේ ඉදිකරනු ලැබූවකි. නැවක ස්වරූපයට නිමවා ඇති මෙම ගොඩනැගිලි සමූහය මේ වනවිට වෙළෙඳ ව්‍යාපාර සහ නිවාස සඳහා යොදා ගනු ලබයි. මෙම නිවාස වික්ටෝරියානු සම්ප්‍රදායට අනුව සඳළුතලයකින් සහ ආලින්දයකින් යුතුව ගොඩනගා තිබේ.

වසර සිය ගණනක් තිස්සේ එකම වර්ණවලින් යුතු තීන්ත ආලේප කර තිබීම නිසාම මෙය මුම්බායි නගරයේ සලකුණක් බවට පත්ව තිබේ.

සෞදි අරාබියේ අල්අහ්ෂා ක්ෂේමභූමිය පිහිටා තිබෙන්නේ නැගෙනහිර අරාබියානු අර්ධද්වීපයේය. වර්ගකිලෝමීටර් ලක්ෂ 7ක් පමණ වන අල්අහ්ෂා ක්ෂේමභූමිය අරාබියේ සශ්‍රීකම ප්‍රදේශයක් ලෙස ද හඳුන්වනු ලබයි. පාම් ශාකවලින් සපිරි මෙම ප්‍රදේශය පුරා ඔටුවන් නිදහසේ සැරිසරමින් සිටින අතර දිය උල්පත්, ස්වභාවික ළිං මෙන්ම අපවහන නල පද්ධති පවා නිර්මාණය කර තිබේ.මෙම නල පද්ධති නවශිලා යුගයට අයත් ලෙස සැලකේ.

ථෙරවාද බෞද්ධ භික්ෂූන් භාවනානු යෝගීව වැඩවාසය කරනු ලබන දකුණු කොරියාවේ දක්ෂිණදිග ප්‍රදේශයේ පිහිටි සන්සා ආශ්‍රමය හත් වැනි සියවසට අයත් ස්ථානයකි. ආශ්‍රම හතකින් සමන්විත මෙම ස්ථානයේ විවිධ භාවනා ක්‍රම වැඞීම සඳහා යොදා ගන්නා පැදකුණුමාවත්, ආසන සහ ගිමන් ශාලා ද ඉදිකර තිබෙන්නේ හත් වැනි සියවසට අයත් ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමවලට අනුවය.
සසනියන් අධිරාජ්‍ය සමය වූ තුන්වන සහ පස්වන සියවස්වල ඉදිකරනු ලැබූ Qal'ehDokhtar බලකොටුව ඉරානයේ ෆාර් ප්‍රදේශයේ පිහිටා තිබේ. ඉරානයේ සුළු ජනකොටස් වූ ආචමෙනිඞ් සහ පාතියන්වරු විසින් මෙම බලකොටුව ඉදිකරනු ලැබ තිබෙන්නේ රෝම ගෘහනිර්මාණ ශිල්පවලට අනුරූප වන ආකාරයටය.

තිම්ලික්ඔහින්ගා යනු කෙන්යාවේ පිහිටා ඇති විශාලතම වියළි ගඩොල් බිත්ති සහිත ජනාවාසයකි. මිගෝරි නගරයේ ඊසාන දිගට වන්නට පිහිටා ඇති මෙම වියළි ගඩොල් බිත්ති ජනාවාසය 16 වැනි සියවසේ ඉදිකරනු ලැබූ බවට සාධක තිබේ.