Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 2, 2018

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි පාලනයට ගිනි නිවන භටයෝ 12,000ක්

කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගිනි තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන භටයන් 12,000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

ලැව් ගිනි 17 ක් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර මිලියන කාලක් පුරා පැති‍ර පවතින අතර එයින් මියගිය සංඛ්‍යාව අටකි. පසුගිය බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම්වල යෙදෙන අතරතුර ගිනි නිවන භටයන් තිදෙනෙක් මිය ගොස් තිබේ.

නිවාස හා ගොඩනැගිලි 1000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ද වාර්තා වේ. තද සුළං සහ වියළි කාලගුණය හේතුවෙන් ලැව් ගිනි පැතිරී යෑම වේගවත් වී ඇති බවත් මෙය කැලිෆෝනියා ප්‍රාන්තයේ මෙතෙක් හටගත් විශාලතම ලැව් ගිනි අතරින් එකක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා වන ජෙරී බ්‍රවුන් විසින් ශස්ටා සහ තවත් ප්‍රදේශ තුනක හදිසි තත්ත්වයක් නිවේදනය කරනු ලැබ ඇත. දීර්ඝ, ඉතා උණුසුම් සහ වියළි කාලගුණයක් පවතින ගිම්හාන සෘතුවේදී කැලිෆෝනියාවේ ලැව් ගිනි හටගැනීම සාමාන්‍ය තත්ත්වයකි.