Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

ඇමරිකා - උතුරු කොරියා නායක සමුළුවට දින නියම වේ

සැලසුම් කළ පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 12 වැනි දින උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා හමුවන බව ධවල මන්දිරය පවසයි.

ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් මහත්මිය පැවසුවේ ඒ අනුව ලබන 12 වැනි දින සිංගප්පූරුවේදී එරට වේලාවෙන් පෙරවරු 9.00 ට මෙම හමුව පැවැත්වෙන බවයි. දැනටමත් ඇමරිකානු නියෝජිත කණ්ඩායමක් සිංගප්පූරුවට ගොස් සිටින බවත්, ඔවුන් ඊට අවශ්‍ය සුදානම් කටයුතු සිදුකරන බවත් ඇය සඳහන් කළාය.

ඇය පැවසුවේ ඊට සමගාමීව තවත් ඇමරිකානු නියෝජිත පිරිසක් උතුරු - දකුණු කොරියානු දෙරට අතර පිහිටි යුද මුක්ත කලාපයේදී උතුරු කොරියානු නියෝජිතයින් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වන බවයි. එම සාකච්ඡා ඉතා ධනාත්මක හා වැදගත් ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි, ඇය සඳහන් කළාය. මීට අමතරව පසුගිය සතියේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිව්යෝර්ක්හිදී උතුරු කොරියානු පාලක කම්කරු පක්ෂයේ උප සභාපතිවරයා හමු වී සාකච්ඡා පැවත්වා තිබේ.