Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

පළමු තරගයේ ජය රුසියාවට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියාව අද (14) සමත් විය.

මෙම තරගය මොස්කව් නුවර ලූෂ්නිකි ක්‍රීඩාංගණයේදී ‘ඒ ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවතුණි. තරගයට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ඩෙනිස් චෙරිශේව් සම්පූර්ණයෙන්ම තරගය කනපිට හරවමින් රුසියාවේ ආරම්භක තරගයට ජයගෙන ඒමට කටයුතු කළේය. තරගයේ 43 වැනි මිනිත්තුවේදී සහ 91 වැනි මිනිත්තුවේදී ගෝල ද්විත්වයක් ලබාගත් චෙරිශේව් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.


තරගය ආරම්භ වී විනාඩි 12 කට පසු රුසියාවේ බලාපොරොත්තු ඔප් නංවමින් පළමු ගෝලය ලබා ගැනීමට යූරි ගැසින්ස්කිට හැකියාව ලැබිණ. ඇලෙක්සැනඩර් ගොලෝවින් සුරක්ෂිතව රැගෙන ආ පන්දුව ගෝල සීමාව ආසන්නයේදීම යූරී ගැසින්ස්කිට ප්‍රදානය කිරීමෙන් අනතුරුව මෙවර තරගාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට ඔහුට හැකියාව ලැබිණ. තරගයේ 24 වැනි මිනිත්තුවේදී ආබාධයට ලක්වූ ඇලන් ඩැගෝව් වෙනුවට ඩෙනිස් චෙරිශේව් කණ්ඩායමට එක් වූයේය. ඉන් විනාඩි 19 කට පසු එනම් 43 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට චෙරිශේව්ට හැකියාව ලැබිණ. ඔහුගේ ගෝලයත් සමගින් ගෝල 2-0 ක් ලෙස පළමු භාගය අවසානයේ පෙරමුණ ගැනීමට රුසියාව සමත් විය.

සෞදි කණ්ඩායම වෙනස්කම් කිහිපයක්ම කරමින් තරගයට අවතීර්ණ වුවත්, කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් නොදුන් රුසියාව 71 වැනි මිනිත්තුවේදී ද ගෝලයක් වාර්තා කරමින් සම්පූර්ණයෙන්ම තරගය ඔවුන් වෙත හරවා ගත්තේය. මෙම තරගයේ සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ ගෝල වාර්තා කල ක්‍රීඩකයින් දෙදෙනාම තරගය අතරවාරයේ කණ්ඩායමට කැඳවනු ලැබූ ක්‍රීඩකයන් වීමයි.

ස්මෝලෝව් වෙනුවට ආදේශ කරනු ලැබූ  ඕටම් ඩිසියුබා රුසියාව වෙනුවෙන් ලැබූ තෙවැනි ගෝලයේ හිමිකරුවා බවට පත්විය. නැවතත් 91 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඩෙනිස් චෙරිශේව් රුසියාවේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් තම පෞද්ගලික දෙවන ගෝලය මෙන්ම තරගයේ සව්වන ගෝලය වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණය පෙනි පෙනීත් රුසියාවේ ඇලෙක්සැන්ඩර් ගොලෝවින් එල්ල කල නිදහස් පහර සෞදි අරාබියේ ගෝල රකින්නා පසු කර දැළ තුළට ගියේ තරගයෙන් ගෝල 5 - 0 ක විශිෂ්ට ජයක් රුසියාවට හිමිකර දෙමිනි.