Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

ගල්ෆ් රටවල් තුනකින් ජෝර්දානයට ඩොලර් බිලියන 2.5 ක්

ජෝර්දානයට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5 සහන මුදලක් ලබාදීමට තීරණය කළ බව සෞදි අරාබිය, කුවෙටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 11 වැනි දින නිවේදනය කළේය.

ජෝර්දානය මුහුණදී සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීමට සහායදීමක් වශයෙන් මෙම සහන මුදල ලබාදෙන බව සෞදි අරාබිය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන ගල්ෆ් රටවල් ත්‍රිත්වය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ජෝර්දාන රජය ගන්නා ලද රාජ්‍ය වියදම් අඩු කිරීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් පසුගිය සතියේදී අම්මාන් අගනුවර ඇතුළු නගර කිහිපයකම විරෝධතා ඇතිවිය.

මේ හේතුවෙන් ජොර්දාන අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර අබ්දුල්ලා රජු නව අගමැතිවරයකු පත් කළේය. ඇමෙරිකාවේ මිත්‍ර රටක් වන ජෝර්දානයේ ඇති වී තිබෙන මෙම නොසන්සුන්තාව කලාපයේ අනෙක් රටවලට පැතිර යෑමේ අවදානමක් ද ඇති වී තිබේ. විශේෂයෙන්ම ජෝර්දානය මුහුණ දෙනවාට සමාන අභියෝගවලට මුහුණ දෙන බහරේනය සහ ඊජිප්තුවට එම විරෝධතා පැතිර යෑමේ වැඩි අවදානමක් හට ගෙන තිබේ.

එම තත්ත්වය සලකා බලමින් ගල්ෆ් කලාපයේ ධනවත් රටවල් ත්‍රිත්වයක් වන සෞදි අරාබිය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙලෙස ජෝර්දානයට උපකාර කිරීමට ඉදිරිපත් විය. මෙම සහන මුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් 12 වැනි දින සෞදි අරාබියේ මක්කමදී සෞදියේ සල්මාන් රජුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඊට ජෝර්දානයේ අබ්දුල්ලා රජු, කුවෙටයේ ෂීක් සබාහ් අල් අහ්මද් අල් ජබෙර් අල් සබාහ් එමීර්වරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්යයේ උප ජනාධිපති ෂීක් මොහොමෙද් බින් රෂීද් යන අය සහභාගී වූහ.