Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

ජනවාරියේ දී සංචාරක පැමිණීමෙහි කැපී පෙනෙන වර්ධනයක්

2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 246,972 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නවතම සංඛ්‍යා සටහන් පෙන්වා දේ. මෙය 2017 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි 219,306 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 12.6% ක ඉහළ යාමකි.



සුපුරුදු පරිදි ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එය 43,643 කි. මෙය 2017 ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින්ගේ ප්‍රමාණය සියයට 22 කින් පහළ ගොස් තිබෙන අතර එම ප්‍රසාණය 24,819 ක් ලෙසින් වාර්තා වේ. ජර්මන් සංචාරකයින්ගේ පැමිණීම 14,985 දක්වා සියයට 20 කින් ද, ප්‍රංශ සංචාරකයින්ගේ පැමිණීම 12,209 දක්වා සියයට 14.5 කින් ද පසුගිය ජනවාරි මාසය තුළ දී වැඩි වී තිබේ. ජනවාරි මාසය තුළ දී බටහිර යුරෝපානු රටවලින් පැමිණ ඇති සංචාරකයින් ගණන 83,324 ක් දක්වා සියයට 14.9 ක වර්ධනයක් වාර්තා කර ඇත.