Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

සියවසේ සුපවේදීයා සමුගනී

ප්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා ලෙස සැලකෙන 91ක් වියැති පෝල් බොකුස් නම් ලෝක ප්‍රසිද්ධ සුපවේදීයා පසුගිය ජනවාරි 20 වනිදා දැයෙන් සමුගත්තේය. නැගෙනහිර ප්‍රංශයේ ලියෝන් නගරයේ සෙන්ට් ජෝන් කතෝලික දේවස්ථානයේදී ලොව රටවල් 22ක සුප්‍රසිද්ධ සුපවේදීන් 1500 කගේ හා වෙනත් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාමත් චාම් අයුරින් අවසන් කටයුතු සිදු කෙරුණි.

1926 පෙබරවාරි 11 වැනිදා ලියෝන් හී ප්‍රධාන නගරයට යාබද කොලොන් මොන්ට් ඩෝර් නම් ග්‍රාමයේ උපත ලැබූ ඔහු තෙවරක් විවාහ ගිවිස ගෙන ඇති දෙදරු පියෙකි. කුඩා කල සිටම ආහාර පාන සැකසීම පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු එම කේෂ්ත්‍රයේ අවසානය දක්වාම විවිධ හැදෑරීම් සිදුකළේය.



ලෝක ප්‍රසිද්ධ ආහාර වර්ග හඳුන්වාදීම, සැකසීම, ප්‍රදර්ශනය කිරීම හා නව සොයා ගැනීම් ආදි සුපවේදී විද්‍යාවෙන් ප්‍රංශය ලොව ඉදිරියෙන්ම සිටී. ප්‍රංශයට එම ස්ථානය ලබා දීමට පෙරමුණ ගත් සුපවේදීන් අතර පෝල් බොකුස් ඉදිරියෙන්ම සිටියි.

ඔහුට ගෞරව කිරීම පිණිස ලොව හොඳම සුපවේදියා තේරීමේ අන්තර් ජාතික තරගය ඔහුගේ නමින් නම් කර තිබේ. මහද්වීප පහ නියෝජනය කරන සුපවේදින් 225 කගේ දක්ෂතාවන් සියැසින් දැක ගැනීමට අවස්ථාව ලැබෙන එම තරඟාවලිය “බොකුස් රන් කුසලානය” ලෙස හැදින්වේ. එංගලන්තයේ බකිම්හැම් රජ මන්දිරය, ප්‍රංශයේ එලිෂේ පැලස් ජනාධිපති මන්දිරය, ඇමෙරිකාවේ ධවල මන්දිරය, මොන්ටිකාලෝ රජගෙදර, ලාස්වේගාස් ආදි ලෝකයේ සුප්‍රසිද්ධ ස්ථානවල සම්භාෂණ හා භෝජන සංග්‍රයන් පෝල් බොකුස් සුපවේදියාගේ රස බොජුන් වලින් නිතරම රසවත් විය.