Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

මරණ දඬුවමට නියම වූවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තා වේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ගේ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති වරයා කළ නියෝගයට අනුවය. අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. ආර් අධිකාරි සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලබා දුන් ලැයිස්තුවට 13 දෙනෙකුගේ නම් ඇතුළත් බවයි. එම සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කරනු ඇති.

මේ අතර විශේෂ තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් කුමන තත්ත්වයක් තුළ වුවද එය ක්‍රියාත්මක කරන බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.