Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

මහනුවර ගැටුමෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට

මාර්තු 04 වැනි දා සිට 08 වැනිදා උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන් වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, මැණික්හින්න, දිගන සහ අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධ වාර්තාව පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ පොලිස් වසමේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබා ඇතැයි ද එම නිවස තුල තිබී 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත්තේයැයි ද, දුම ආඝ්‍රාණය වීමෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කිරීමට යෑමේදී අත්අබෝම්බයක් පිපිරී පුද්ගලයකු මිය ගොස් ඇතැයි ද, අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයේ තිබී සොයා ගත්තේයැයිද ඔහු අවුරුදු 28ක පුද්ගලයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අවස්ථාවේ තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට 08 වැනි දින දක්වා මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 වාර්තා වූ බවත්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් පොලිසිය පවසයි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 එක් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද වේ.