Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

FaceBook ගිණුම් 186 ක් පිළිබඳ විමර්ශන

සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ Facebook ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. එහි සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, පසුගිය දිනවල රටතුළ නිර්මාණය වූ කලහාකාරී තත්ත්වයට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව ය.

එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර තිබේ. සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, Facebook සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණ තව දුරට ත් සිදුකරමින් පවතින බව ය. Facebook සමාගම සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති සයිබර් අපරාධ පිළිබඳ ඒකකය පවසයි. මෙරට නීතිය අනුව Facebook භාවිත කිරිමේ ක්‍රමවේද සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිත ය. මේ අතර WhatsApp Group කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ. එම කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ දුරකතන අංක ඔස්සේ, ඉදිරි විමර්ශන සිදුකරමින් ඇති බව ද එම ඒකකය පවසයි. මෙවැනි තත්ත්වයක් ඉදිරියට ඇති නොවීම සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබාගෙන සමාජ ජාල මාධ්‍ය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීමට ක්‍රියා කරන බව ද එම ඒකකය ප්‍රකාශ කළේය. ඒ සඳහා සහාය වීමට මේ වන විට ත් චීන සහ ජර්මන් රජයන් සිය කැමැත්ත පළ කර තිබේ.