Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

තායිවානයේ සිදු වූ භූමිකම්පාවෙන් 62 දෙනකු පමණ තවමත් අතුරුදන්

තායිවානයේ සිදු වූ භූමිකම්පාවෙන් සහ පසු කම්පන ගණනාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට නව දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර 62 දෙනකු පමණ අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන් වූවන් ගෙන් වැඩි පිරිසක් යුන් මෙන් ට්සුයි ටි නම් දොළොස් මහල් ගොඩනැගිල්ලේ සිර වී ඇති බවට විශ්වාස කෙරේ.



කුඩා හෝටලයක්, නිවාස සංකීර්ණයක් සහ අවන් හලකින් යුත් එම ගොඩනැගිල්ලේ සිර වී සිටි 196 දෙනකු මේ වන විට මුදා ගෙන ඇති බව සඳහන් ය. අවතැන් වූ 800 ක් පමණ වන පිරිස ගෙන් 500 දෙනෙක් හුවලියන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ 300 දෙනෙක් චන්ග්වා ප්‍රාථමික පාසලේ මේ වන විට රඳවා සිටිති. ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයක් වන හුවාලෙයින් නගරයේ ජනගහනය ලක්ෂයකට ආසන්න වන අතර භූමිකම්පාවෙන් පසු 40,000 කට ආසන්න නිවාස ප්‍රමාණයකට ජල සැපයුම නතර වී ඇති අතර, අධිවේගී මාර්ග සහ පාලම් තාවකාලිකව වසා දමා ඇත.

116කට ආසන්න පිරිසකට මරු කැඳවමින් තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ භූමිකම්පාවෙන් වසර දෙකකට පසු සිදු වුණ දරුණුතම භූමිකම්පාව මෙය වන අතර මැග්නිටියුඩ් 6.4 ක් ලෙස රික්ටර් මාපකයේ සටහන් වූ මෙම භූමි කම්පාව සිදු වූයේ නිතරම භූමිකම්පන වාර්තා වන ප්‍රදේශයකය.