Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 4, 2018

තායිලන්තයේ ගුහාවක සිරවුණු පාපන්දු ක්‍රීඩකයන් නිරුපද්‍රිතයි - අභියෝගය වන්නේ ඔවුන් ආරක්ෂිතව පිටතට ගැනීමයි

දින නවයක් පුරා තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු උපදේශක ඇතුළු ළමයින් 12 දෙනා නිරුපද්‍රිතව හමුවුවත් මීළඟ අභියෝගය වන්නේ ඔවුන් ආරක්ෂිතව ඉන් පිටතට ගැනීම බව මෙහෙයුම් සිදු කළ දෙස් විදෙස් කණ්ඩායම් සඳහන් කරයි.

ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි බව එරට හමුදාව පවසයි. මූලික අවශ්‍යතාවල‍ට අමතරව විදුලිය මෙන්ම ඔවුන්ගේ මවුපියන් සමඟ කතා කිරීම සඳහා දුරකතන සම්බන්ධතාව ලබාදීමට ද මේ වන විට කටයුතු කර ඇති බව වාර්තා වේ. ජලයෙන් පිරීගිය ලෙන තුළ සිර වී සිටි මේ කණ්ඩායම සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසිනි.

ඔවුන් ජලයෙන් යට නොවූ එක් කුහරයක ආරක්ෂිතව සිටින බව එම කණ්ඩායම තහවුරු කර ඇත. කෙසේ වුවත් ඔවුන් ඉන් පිටතට ගැනීම නව මෙහෙයුමක් ලෙස ආරම්භ කරන බව සඳහන් වේ. මෙසේ සිරවී සිටින කණ්ඩා‍යමේ වැඩිමහල්ම සාමාජිකයා වන්නේ 25 හැවිරිදි පුහුණුකරු වන එකාපොල් ජනාතවොන්ග් වන අතර සෙසු පිරිස අවුරුදු 11 - 16ත් අතර පසු වේ.

වීර චාරිකාවල නිරත වීමට කැමැත්තක් දක්වන මේ කණ්ඩායම අතුරුදන් වූ බව දැනගත් වහාම ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කළ තායිලන්ත රජය චීනය, මියන්මාරය, ලාඕසය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රට වලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැළෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසකගේ සහාය ලබා ගත්තේය. ඔවුන් ආරක්ෂිතව සිටින බවට තොරතුරු ලැබීමත් සමඟ සතුටට පත් තායිලන්ත ජනතාව එය සැමරීමට ඔවුන්ගේ මවුපියන් සමඟ එක් වූ බව වාර්තා වේ.