Social Icons

facebookrss feedemailtwitter

Saturday, July 7, 2018

සිරියාවේ හමුදා මෙහෙයුමෙන් පසු 270,000කට ආසන්න පිරිසක් නිවෙස් අතහැර පලා යති

සිරියාවේ නිරිත දිග ප්‍රදේශයේ කැරලිකාර පාලනය පවතින ප්‍රදේශවල හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟ 270,000 කට ආසන්න පිරිසක් සිය නිවෙස් අතහැර පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරයි.

මෙසේ ඩේරා සහ කුනේයිත්‍රා ප්‍රදේශවලින් පළා යන පිරිස් වලින් බොහෝ දෙනෙකු ඊශ්‍රායල පාලනය පවතින ගෝලාන් කඳුකර ප්‍රදේශයටත් ජෝර්දාන දේශ සීමාව වෙතටත් පැමිණෙමින් සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.

මෙසේ පැ‍මිණෙමින් සිටින අනාථ පිරිස් බාර ගන්නා බවට එම රටවල් මෙතෙක් කිසිදු සඳහනක් කර නැති බැවින් එය බරපතළ අර්බුදයක් බවට පත් වන ලකුණු පහළ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රුසියානු ගුවන් ප්‍රහාරවලද ආධාර සහිතව ආණ්ඩුවේ හමුදා ඉදිරියට ඇදෙමින් පවතින අතර ආයුධ අත්හැර ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ පාලනය පිළිගැනීමට බොස්රා අල් ෂාම් නගරයේ කැරලිකරුවන් එකඟ වී ඇති බව වාර්තා වේ.