Social Icons

facebookrss feedemailtwitter

Sunday, February 4, 2018

මේ අපේ 70 වැනි නිදහසයි

1505 වර්ෂයේදී පෘතුගීසින්ටද,1658 ලන්දේසි පාලනයටද නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදුවිය. එලෙස විදේශ ග්‍රහනවලට බොහෝ කලක් යටත් වීමෙන් සිටි ලාංකිකයන් ඉන් නිදහස ලබා අදට වසර 70 ක් සපිරේ. එවන් වූ දිනක අධිරාජ්‍යවාදීන්ගෙන් එවකට නිදහස ලබා ගත් ඒ ගමන් මඟ පිළිබඳව විමර්ශණයක යෙදීමට අප තීරණය කළා. මහා බ්‍රිතාන්‍ය තුන්වන ජෝර්ජ් රජු සමයේදී එනම් 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය.
ඉන් පසුව 1837 ජුනි 20 වන දින මහා බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස වික්ටෝරියා මහ රැජින පත්වූ අතර හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු, අටවන එඩ්වඩ් රජු, හයවන ජෝර්ජ් යන රජවරු අපගේ රජවරු ලෙස සැලකීමට සිදුවූ අතර 1948 පෙබරවාරී 04 දිනට සීමිත නිදහසක් ලැඛෙන තුරුම බ්‍රිතන්‍ය රජවරු 5කට යටත්ව පාලනය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මහරජ හෝ රැජින වෙනුවට අග්‍රාණ්ඩුකාරවරයකු පෙනී සිටියේය. සිංහල දීනයන්ගේ මහා පාවාදීම 1815 පෙබරවාරි 18 දින සිදුවිය. ඒ එක්නැලිගොඩ මොහොට්ටාලගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මහනුවරට නුදුරු ගල්ලැහැවත්තේ උඩපිටිය ආරච්චිගේ ගෘහස්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසින්ට භාර දීමය.



එවක එක් පාර්ශවයක් ජාතියේ නිදහස පතා සටන් කළ අතර අනෙක් පාර්ශවය ඉංග්‍රීසින්ට පක්ෂව කටයුතු කළහ. 1816 දී ආරම්භ වූ නිදහස් අරගලය 1818 දී තීව්‍රරවිය. තම ආගමික හා ආර්ථීක අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමුනෙන් අපරට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස් කර ගැනීමට 1815 සිට 1948 දක්වා අරගල ක්‍රියාත්මක විය.


1818 හා 1848 ඇතිවූ කැරලි දෙක නිදහස් අනාගතයක අරුණළු පිළිබඳව බලාපොරොත්තු ඇතිකළ ප්‍රබලතම අරගලයයි. මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල මහ නිලමේ,මඩුගල්ලේ නිලමේ, ඉහලගම හිමි ආදී විරුවන් දේශයේ නිදහස පතා තම ජීවිත පූජා කළහ. දෙවන නිහදස් අරගලය 1848 මාතලෙන් ආරම්භ වූ අතර වීරපුරන් අප්පු, කාරෝ අප්පු, විදී පැලේ බණ්ඩා, කුඩාපොල හිමි වැනි වීරවරයන් සිංහල ඔත්තුකරුවන්ගේ ක්‍රියා මත ඉංග්‍රීසින්ට අල්ලා දෙන ලදී.

එකල අධිරාජ්‍යවාදීනට විරුද්ධව බෞද්ධ පුනරුද ව්‍යාපාරය මෙහෙයවූයේ ගුණානන්ද හිමි, දොඩම්ගොඩ පියරතන හිමි, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, අනගාරික ධර්මපාල තුමා, වැනි වීරවරයෝයි. නිදහස මෙහෙයවූ බටහිර අනුකාරක කණ්ඩායමට ඩී.එස්. සේනානායක, ජේමිස් පීරිස්, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඩී.බී. ජයතිලක, යන ශ්‍රේෂ්ඨ නායකයන් එක් විය. මෙකල, එනම් 1915 දී සිංහල මුස්ලිම් කෝලහලය, සම්බන්ධව බ්‍රිතාන්‍ය පාලකයෝ අනුගමනය කළ අසාධාරණ ප්‍රතිපත්ති නිසා අයිතිවාසිකම් උල්ලංගනය වූයේ මෙරට බහුතර බෞද්ධයන්ගේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ඇරඹී තිබූ උද්ඝෝෂණ ව්‍යාපාර විදේශ ආධිපත්‍යයෙන් රට මුදවාගැනීමේ "නිදහස් ව්‍යාපාරය" බවට පත් විය.

කැරළි කෝලාහල තුළින්  බ්‍රිතාන්‍යයන්ගේ අසාධාරණ මර්ධන ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් ව්‍යාපාරය හා බෞද්ධ නායකත්වය ඇතිකළ මෙම පෙළෙඹවීම මෙරට පාලනය කළ ඇතැම් යුරෝපා පුවත්පත් හා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ ඇතැම් යුරෝපීය නියෝජිතයන්ද අවධි කරවීමට සමත් විය. පසුව කැරලි කෝලහාලවලදී බෞද්ධ ජනතාවට සිදුවූ අසාධාරණ පිළිබඳ සෙවීමට නිල වශයෙන් රාජකීය කොමිසමක අවශ්‍යතාව ඇතිවිය. ඒ සඳහා පළමුවරට පුරෝගාමී වූයේ අනගාරික ධර්මපාල තුමායි. එතුමා 1915 ජුනි 15 දින මේ සම්බන්ධව දීර්ඝ ලිපියක් යටත් විජිත ලේකම්ට යවා ඇත.

මෙතැන් පටන් නිදහස් ව්‍යාපාරය සෑහෙන වෙනසකට බලවත්විය. එයට හේතුව අධිරාජ්‍ය විරෝධී නිදහස් සටන් ව්‍යාපාරයට ක්‍රියකාරී දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට පසුබිම නිර්මාණය වීමය. මෙම කාලයේදී අසාධාරණයට ලක්වූ මෙරට බෞද්ධ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් හා වරප්‍රසාද හිමිකර දීමට එවක නිදහස් සටන පෙලඹවීමට බෞද්ධ නායකයන් ප්‍රබල විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවේ පහතරට සිංහල මන්ත්‍රී ධූරයට බෞද්ධ නායකයෙකු වූ ඩබ්.ඒ. සිල්වාගේ නම යෝජනා විය.

මින් පසු නිදහස් සටනේ බටහිර අනුකාරක නායකයෝ නිදහස් ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ අරමුණින් ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් ගොඩනගා ගැනීමට යොමු විය. මෙහි මූලිකයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතායි. එතුමාගේ නායකත්වයෙන් 1917 මැයි 17 දින "ලංකා ප්‍රතිසංස්කරණ සංගමය" පිහිටුවිය. අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙකලම එනම් 1919 දී "ජාතික සංගමය" ද බිහිවිය. 1947 දී ඉන්දියාවට නිදහස ලැබුණු අතර ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍යට යටත්ව තබා ගැනීම නිශ්ඵල යැයි ඔවුන් තීරණය කර ඇත. එම නිසා 1948 ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලබා දෙන ලදී. එය 1947- 06 -18 දින තීරණය කළද එය ලැබුණේ ඊට මාස 8කට පසුවයි. 1833 සිට ව්‍යවස්ථාදායක සභා හරහා යම් යම් ආණ්ඩුක්‍රම සංශෝධන සිදුවූ අතර 20 වන සියවස වන විට අපට නිදහස ප්‍රධානය කිරීමට ඔවුන් මඟ එළි පෙහෙලි කරේ, 1833, 1848, 1910, 1921 ව්‍යවස්ථා සංශෝධන හා 1931 ලැබූ සර්වජන ඡන්දබලය හේතුවෙනි. විධායක කාරක සභා, රාජ්‍ය මන්ත්‍රණ සභාව, හරහා ප්‍රජාතන්ත්‍රවාදීව නව යෝජනා ඉදිරියට ගලා ගිය අතර, දේශපාලන පිලිලයක් ලෙස හැඳින්වූ වාර්ෂික සංයෝජනය වෙනුවට පළාත්බද නියෝජනය ඉදිරියට ඒමද නිදහස ලබා දෙන ගමනේ ප්‍රබල සංධිස්ථානයකි. මෙවන්වූ සිද්ධීන් දාමයකට පසුව බ්‍රිතාන්‍ය යටත් විජිතව පැවැති ලංකාවට නිදහස ප්‍රධානය කිරීමට 1947 නොවැම්බර් 11 වන දින හයවන ජෝර්ජ් රජු අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

ඉන් පසුව වසර 450 ක් පමණ විවිධ ජාතීන්ට යටත් වී සිටි අප රටට 1948 පෙබරවාරී 04 වන දින පූර්ණ ලෙස නිදහස හිමිවිය. එලෙස ලබාගත් නිදහස ආරක්ෂා කර ගැනීම වත්මන් පරම්පරාවේ අප සියලූ දෙනාගේ උරමත පැවරී ඇති වගකීමකි. "එකම දැයක්"