Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

“ඡන්දය දෙන්න නිවාඩු දෙන්න” - මැතිවරණ කොමිෂන් සභාව

2018 පළාත් පාලන ඡන්ද විමසීමේ මැතිවරණයේ දී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයින්ට, නීත්‍යානුකූලව හිමිවන නිවාඩු ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයේ සියලුම සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.


සේවා නියුක්තිකයින්ට ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරිය) 84 අ වන වගන්තියේ විධිවිධාන යටතේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පළට යායුතු දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක් ද, කිලෝමීටර් 40ත් - 100ත් අතර නම් දින එකක්ද , කිලෝමීටර් 100ත් - 150ත් අතර නම් දින 1 1/2ක් ද, කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක් ද වශයෙන් නිවාඩු හිමි වේ.

ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබාදිය යුතු බවත් එසේ දෙනු ලබන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තකයින්ද, ඇතුළුව සියලු සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 පෙබරවාරි 10 සෙනසුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.