Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවෝ 3741ක් වසර තුනකදී අත්අඩංගුවට

රට තුළ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙමින් පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට ආණ්ඩුව විශේෂ කාර්ය බළකායට 2016 වසරේදි ලබා දෙන ලද අභියෝගය අකුරටම ඉෂ්ඨ කරමින් පසුගිය වසර තුන තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන සැකකරුවෝ 3741ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි හතලිස් හයක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාගේ මෙහෙයවිම මත රටපුරා මේ වන විටත් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මේ වන විටත් නොකඩවා ක්‍රියාත්මක වෙමින් පවති. ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට ගෙන එනු ලබන හෙරොයින් ,කොකේන් ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය වර්ගද මෙරට තුළ ජාවාරම් කරන ගංජා නීති විරෝධි මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය වර්ගද ඇතුළුව රුපියල් කෝටි හතලිස් හයක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි හතහමාරක් පමණ වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම පිණිස විශේෂ කාර්ය බළකාය මඟින් රට පුරා වැටලිම් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ. එහිදි හෙරොයින් ග්‍රෑම් 7414ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද විශේෂ කාර්ය බළකාය පෙන්වා දෙයි. මෙහිදි නිති විරෝධි දුම්වැ‍ටි ලක්ෂ දාහතරකට වැඩි ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඒවායේ වටිනාකම රුපියල් කෝටි තුන ඉක්මවා තිබේ.