Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වේ

ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි, රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග 19 වැනි දින සඳහන් කළේය.

ජීනිවා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු යැයි ඇමරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සඳහන් කළ අතර එසේ නොකළහොත් ඉන් ඉවත් වන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය. 

ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අතර පසුගිය සතියේදී සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඇමරිකා එක්සත් ජනපද ඉල්ලීම් සපුරාලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අසමත් වී තිබෙන අතර ඒ හේතුවෙන් අදාළ සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වනු ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ට්‍රම්ප් පරිපාලනය ආරම්භයේ සිටම ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංවිධාන අතර අර්බුද ඇතිවිය. ඇමරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළ අතර විවිධ කරුණු සම්බන්ධයෙන් එම සංවිධානයට බරපතළ චෝදනා ද එල්ල කළේය.  ඇමරිකා ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාවේදී දරුවන් මාපියන්ගෙන් වෙන් වීම ද ඉකුත් දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ විවේචනයට ලක්විය.


මීට පෙර ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වර්ජනය කළේය. ඇමරිකාව නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වූයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදීය.