Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

රුසියාව වසර 48කට පසුව අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විශාලතම පෙරළිය සිදුකළ සත්කාරක රුසියාව දඬුවම් පහර 4 - 3 කින් ස්පාඤ්ඤය පරදවා වසර 48 කට පසුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.

තරගයේ නියමිත කාලය නිමාවෙද්දී ගෝල 1 - 1කින් සමවීම හේතුවෙන් දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තෝරාගැනීමේ උද්වේගකර අවස්ථාවෙන් වාසනාවන්තයා බවට පත්වූ රුසියානු ගෝල් රකින්නා වන ඉගෝර් අකින්ෆීව් ස්පාඤ්ඤ ක්‍රීඩකයන් එල්ල කළ ගෝල් 5න් දෙකක්ම වළක්වාලමින් එක් රැයකින් රුසියාවේ වීරයා බවට පත්විය.

මොස්කව් නුවර ලුසින්කි ක්‍රීඩාංගණයට රැස්වූ 78,011ක අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සාක්ෂිකරුවන් බවට පත්වූ තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරිමේ අවස්ථාවේදී ස්පාඤ්ඤයේ කෝකේගේ සහ ලාගෝ අස්පාස්ගේ පන්දු පහරවල් වළක්වාලීමට අකින්ෆීව් සමත්විය. මෙවර තරගාවලියේ දුර්වලතම කණ්ඩායම බවට ලජ්ජාසහගත ලේබලයක් අලවා ගනිමින් තරගාවලියට එක්වූ රුසියාව සිය පළමු තරගයේදීම සෞදි අරාබියට එරෙහිව ගෝල 5 - 0 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් පෙරළිකාර කණ්ඩායම බවට පත්වූයේ තරගාවලිය උඩුයටිකුරු කරවීමේ අනාවැකියක්ද පළ කරමිනි.

වසර 2010දී පාපන්දු ලෝක ශූරයන් බවට පත්වූ ස්පාඤ්ඤය මේ තරගයේදී රුසියාව පරාජය කරනු ඇතැයි පළවූ අනාවැකි සියල්ල බොරු කළ රුසියානු ක්‍රීඩකයන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත රුසියානු පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂා මැදය.