Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් පකිස්තානයේ නව රජයක් පිහිටි වීමේ ලකුණු

පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පත්වන ලකුණු ප්‍රතිපළ අනුව පෙනේ.

නිල නොලත් ඡන්ද ප්‍රතිඵල වලට අනුව ඡන්ද විමසුම පැවති ආසන 272ක් අතරින් ඔහුගේ පක්‍ෂය ජය ගෙන ඇති ආසන ගණන 120 කි. 25 වැනි දින පැවති පකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම තාක්‍ෂණික හේතූන් මත ප්‍රමාද වන බව, එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

නමුත් මේ දක්වා සිදුකළ ඡන්ද ගණන් කිරීම් වලට අනුව ඉම්රාන් ඛාන්ගේ “යුක්තිය සඳහා වූ ව්‍යාපාරය“ හෙවත් පී.ටී.අයි. පක්‍ෂය, ඉදිරියෙන් සිටී. සිරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ පකිස්තාන මුස්ලිම් ලීගයට මෙතෙක් ලැබී ඇත්තේ, ආසන 64ක් පමණයි. බූතෝ පවුලේ නිජ බිම වූ පී පී පී පක්‍ෂය ආසන 43ක් දිනා තුන්වැනි ස්ථානයේ පසුවේ.

නව රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 137 තනි පක්‍ෂයක් ලෙස ලබා ගැනීමට ඉම්රාන් ඛාන්ගේ පක්‍ෂය සමත්වේවි ද යන්න, මතුවී ඇති අභියෝගයකි. ඉම්රාන් ඛාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ රජයක් පිහිටුවීමට තම පක්‍ෂය සූදානම් වන බවයි.

1992 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන්, ටෙරීක් - අයි ඉන්සාෆ් නමැති පක්‍ෂය පිහිටවුයේ මීට වසර 22කට පෙරය. වසර 2002 දී එම පක්‍ෂය මුල්වරට පාර්ලිමේන්තු ආසනයක් දිනාගත්තේය.

2008 මහ මැතිවරණය වර්ජනය කළ පී.ටි.අයි. පක්‍ෂය 2013 දී ආසන 35ක් දිනා ගනිමින් කරළියට පැමිණියේ පාර්ලිමේන්තුවේ තෙවැනි විශාලතම පක්‍ෂය ලෙසයි. දූෂණයෙන් හා පවුල් වාදයෙන් තොර පාලනයක් ස්ථාපනය කරන බවට, මෙවර මැතිවරණයේ දී ඉම්රාන් ඛාන් ලබාදුන් ප්‍රතිඥාවට එරට ජනතාව ඉහළ ප්‍රතිචාරයක් ලබා දී ඇත.