Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

සූර්යය ව්‍යාපෘති සදහා ඉන්දියාවෙන් ඇ.ඩොලර් මිලියන 100ක ආධාර

බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් සූර්යය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළකරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වහළය මත සවිකරන සූර්යය ඒකක 200,000ක් ඉදිකිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කෙරෙන අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදල රජයේ පාසල්, රෝහල් සහ වෙනත් රජයේ ගොඩනැඟිලි මත ඉදිකරන සූර්යය ඒකක ඉදිකිරීම වෙනුවෙන් යොදවන බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.

ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාෂ්ට්‍රපතිභවන්හි දී පැවැති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සමුළුව අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට රජයේ නියෝජිතයින් හමුවී සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මේ ආධාරය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල සඳහා ලෝකයේ රටවල් 46ක රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී තිබෙන අතර රටවල් 15ක සූර්යබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක ආධාරයක් ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සූර්යබල සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වනවිට මෙගාවොට් දහසක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකිවනු ඇති අතර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට උපයෝජනය සඳහා මෙගාවොට් 1-10 දක්වා වූ ධාරිතාවයකින් යුතු සූර්ය බලාගාර පිහිටුවීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකාව තුළ දැනටමත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මේ වනවිට ජාත්‍යන්තර සූර්ය සංධානය සඳහා ලෝකයේ රටවල් 62ක් එක්ව සිටින අතර එයින් රටවල් 32ක් එම සංධානයේ රාමුව සම්බන්ධයෙන් වන ගිවිසුමට අත්සන්කර තිබේ.


බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සූර්ය බලශක්ති තාක්ෂණය වැඩිදියුණු කරගැනීම, සූර්යබල ව්‍යාපෘති සඳහා යන පිරිවැය අවම කරලීම ඇතුළු ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ප්‍රථම වරට මෙම සමුළුව පැවැති අතර එය ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්‍රොන් මහත්වරු විසින් සංවිධාන කෙරිණි.