Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

රථ වාහන වැරදි 33ක් සඳහා වන දඩ මුදල් ලබන 15 වන දා සිට ඉහළට

මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33 ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු  ස්ථානීය දඩ මුදල සියයට 30ත් 50ත් අතර අගයකින් ඉහළ දමා ඇති බව සඳහන් වෙයි. අදාළ ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ස්ථානීය දඩ මුදල් ගාස්තු සංශෝධනයට අනුව අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ දඩය රුපියල් 3000ක් වන අතර මාර්ග නීති රීති කඩ කිරීමේ දඩය රුපියල් 2000ක් වී තිබේ.

පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ දඩය ද රුපියල් 2000ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ. නව දඩ මුදල් සංශෝධනයට අනුව උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 1000ක් වී තිබේ. වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම, මෝටර් රථයක් මාර්ගයක නතර කිරීම, ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම, ආසන පටි භාවිත නොකිරීම, නුසුදුසු සංඥා භාවිතය යන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.