Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝගයක්

පසුගිය වසරේ ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර තිබේ. ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස එහිදී සඳහන් කර ඇත.


කෙසේ වුවද ඇමරිකාව පවසන්නේ මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් මෙවැනි නියෝග නිකුත් කිරීමට ජාත්‍යන්තර අධිකරණයට බලයක් නොමැති බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක නීති විරෝධී බව මෙම නියෝගයෙන් තහවුරු වන බවයි.



ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන රියාලයේ අගය වේගයෙන් පහත වැටුණු අතර මේ වනවිට ඉරාන ආර්ථිකය කඩාවැටී ඇත.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානම නීති ආයතනය වන ජාත්‍යන්තර අධිකරණය එහි සාමාජික රටවල් අතර නීතිමය ගැටුම් නිරාකරණය කරයි. අමෙරිකාව පැනවු නව සම්බාධක අනුව 1955 වන වසරේ දී දෙරට අතර ඇතිකර ගත් මිත්‍රත්ව ගිවිසුම කඩවන බවට ඉරානය ජාත්‍යන්තර අධිකරණයට කළ පැමිණිල්ලක් මත මෙම නියෝගය ලබා දි ඇත.

තමන් පැනැවූ සම්බාධක වලට එරෙහිව ජගත් අධිකරණයේ පිහිට පැතීම හෙලා දකිමින්, ඉරානය සමඟ ඇති කරගෙන තිබුණු “මිත්‍රත්ව ගිවිසුම” අහෝසි කිරීමට ඇමෙරිකාව පියවර ගනී. ඇමෙරිකාව ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කරන්නැයි අධිකරණය දුන් තීන්දුවත් සමඟ තමන් ඉරානය සමඟ 1955 වසරේ සිට ඇති කරගෙන තිබුණු “මිත්‍රත්ව ගිවිසුම” අහෝසි වන බව නිවේදනය කළේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕය.



මේ අතර, යුරෝපය ඉදිරියටත් ඉරානය සමඟ ව්‍යාපාර කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ඊට යුරෝපයට ප්‍රංශසා කරන බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානි පැවැසීය.



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2015 වසරේදී අත්සන් තබන ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගත් අතර එරට පනවා තිබී ඉවත් කළ සම්බාධක නැවත පැනවීමටත් නව සම්බාධක පැනවීමටත් පියවර ගත්තේය. මේ තත්ත්වය මත යුරෝපා සංගමයේ රටවලට ද බලපෑමක් එල්ල වූ නමුත් ඉරානය සමඟ අඛණ්ඩව ව්‍යාපාර කිරීමට එම සංගමයේ රටවල් තීරණය කළහ. ඇමෙරිකා එක්සත් ජනපදය “ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්” ඉවත් වුවත් යුරෝපා සංගමය සහ ඒ ඊට අත්සන් තබන ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඉන් ඉවත් නොවීය.

මේ අතර, ඉරානය ප්‍රංශයේ පැරිස් අගනුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේ යැයි ප්‍රංශය චෝදනා කරයි. ඉරානයේ බුද්ධි තොරතුරු පිළිබඳ අමාත්‍යාංශය එම ප්‍රහාරය සැලසුම් කර ඇතැයි මේ වසරේ මුලදි එසේ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇතැයි ද ප්‍රංශය පවසයි.

මෙම චෝදනාවත් සමඟ මේ වනවිටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති ඉරාන-ප්‍රංශ ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පැවසෙයි. මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ මීට මාස තුනකට පෙර යැයි ද පැවසෙයි.