Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාමලේඛණය ගැසට් කිරීම කල් යයි

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ නාමලේඛණය ගැසට් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. අදාළ සභිකයින්ගේ නාමලේඛණය මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංඟානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආසන 340ක් සඳහා තේරී පත් වූ සභිකයින් 8689 දෙනෙකුගේ නම් ඊයේ දිනයේ මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත බාරදෙනු ලැබීය. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු එළඹෙන 20 වනදා සිදු කෙරෙන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.

මීට පෙර මාර්තු මස 06 වනදා පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට නියමිතව තිබුණ ද කාන්තාව නියෝජනය සම්බන්ධයෙන් ඇති වූ මතුභේදකාරී තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණි.