Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

අල්ලස් කොමිසමට විශේෂඥ විමර්ශකයන් දෙසීයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු වඩාත් ඵලදායි සහ විධිමත් කිරීමේ අරමුණින් ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂඥ විමර්ශකයන් වශයෙන් වෘත්තිකයන් දෙසීයක් කොමිෂන් සභාවට බඳවා ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේය.

මෙම වසර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හැරවුම් ලක්ෂයක් බව පවසන ජයමාන්න මහතා මෙම සුවිශේෂි බඳවා ගැනීමේ දී ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවරුන්, බැඳුම්කර විශේෂඥයන් සහ ගිණුම් පරික්ෂකවරුන් වශයෙන් වෘ‍ත්තිකයන් කොමිසමේ සේවයට එක් කර ගන්නා බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා කොමිෂන් සභාව සමඟ අත්වැල් බැඳ ගන්න පැමි‍ණෙන්නැයි වෘත්තියවේදීන්ගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල් ජයමාන්න මහතා කීය. මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ජුනි 09 දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇතැයිද අයදුම් පත් කැඳවීමේ අවසන් දිනය ජුලි 10 දා බව ද ජයමාන්න මහතා පැවැසීය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලැබු නඩු කෘත්‍යයන්වලින් පසුගිය වසරේ 57 දෙනකු වරදකරුවන් වූ බවත් මේ වසරේ දැනටමත් 40 දෙනකු අධිකරණය මගින් වරදකරුවන් කර ඇති බව ද ජයමාන්න මහතා පෙන්වා දුන්නේය.