Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

ඉරානයට කොන්දේසි 12 ක්

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින් ඇමෙරිකාව, ඉරානයට කොන්දේසි 12 ක් පනවා ඇත.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත්වී නව එකඟතාවක් ඇති කර ගන්නේ නම්, ඉරානය මෙම කොන්දේසි 12 ට යටත් විය යුතු බව ඇමෙරිකාව කියයි. ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය ජර්මනිය, රුසියාව සහ චීනය එක්වී, ඉරානය සමඟ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කරගත්තේය. ඒ, 2015 දීය. එවිට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. එම ගිවිසුමෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාව ඉවත් වී ඇත.

එපමණක් නොව, ඇමෙරිකාව යළි ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමට ද සූදානම් වෙයි. ඇමෙරිකාව න්‍යෂ්ටික එකඟතාවයෙන් ඉවත් වුවත්, සෙසු රටවල් දිගටම එම ගිවිසුමෙහි රැඳී සිටින බව පවසා ඇත. ඇමෙරිකා රජය වෙනුවෙන් එරට ආරක්ෂක ලේකම් මයික් පොම්පේඕ ඉරානයට පැනැවූ කොන්දේසි 12 මාධ්‍ය හමුවේ ද ප්‍රසිද්ධියට පත් කර ඇත.

සියලුම න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික බලශක්ති කටයුතු නැවැත්වීම, යුරේනියම් බලගැන්වීම් කළ හැකි ජල ප්‍රතික්‍රියාකාරක අක්‍රිය කිරීම, විදෙස් පරමාණු බලශක්ති නිරීක්ෂකයන්ට ඉරානයේ ඕනෑම තැනක සංචාරයට අවසර ලබා දීම, දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් නැවැත්වීහ, හිස්බුල්ලා සහ හමාස් ආදී සන්නද්ධ ත්‍රස්ත කල්ලිවලට සහාය දීමෙන් වැළැකීම ආදිය එම කොන්දේසි 12 ට අයත් වන බව පැවසේ.