Social Icons

facebookrss feedemailtwitter

Friday, May 25, 2018

උතුරු ඇමරිකා සාකච්ඡා පෙර උණූසුම

ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ දිනවල කාගේත් විශාල අවධානයක් යොමුව ඇති කාරණයක් වන්නේ උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවීමට නියමිත ඓතිහාසික රාජ්‍ය නායක හමුව.
එය ලබන ජුනි මස 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එවැනි දෙයක් සිදුවීමට නියමිතව තිබුණේ ඉතිහාසයේ පළමු වතාවටය. කෙසේ නමුත් මේ පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩෙමින් තිබියදී පසුගිය සතියේ එයට කිසියම් බාධාවක් එල්ල වන ආකාරයේ සිදුවීම් කිහිපයක්ද දිග හැරෙන්නට විය. 


එයට හේතු වූයේ මෙම සාකච්ඡා සඳහා සහභාගී නොවන්නට ඉඩ ඇති බවට කිම් ජොං - උන් විසින් සිදු කරන ලද ප්‍රකාශයයි. ඒ අතර පසුගිය 16 වෙනි දින උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ ඉහළ පෙළේ නියෝජිතයින් දෙපිරිසක් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක්ද හදිසියේම අවලංගු කෙරිණ. බොහෝ දෙනෙකු බලා‍පොරොත්තු නොවූ මෙම තත්ත්වය ඇති වීමට බලපෑ හේතු කිහිපයක් තිබිණි. එයින් එකක් වූයේ ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව පසුගිය දිනවල දකුණු කොරියානු කලාපය තුළ සිදු කළ හමුදා අභ්‍යාස මාලාවය.

සාම සාකච්ඡා ක්‍රියාදාමයක් සඳහා පියවර ගනිමින් සිටියදී මෙවැනි යුද අභ්‍යාස මාලාවක් පැවැත්වීම උතුරු කොරියාවේ නොසතුටට හේතු විය. මෙම යුද අභ්‍යාස වාර්ෂිකවම ඇමරිකා -දකුණු කොරියා රටවල් අතර සිදුකරන ලබන්නකි.  උතුරු කොරියාව මෙවර පැවසුවේ එය තම රට ආක්‍රමණය කිරීම සඳහා කරනු ලබන පුහුණු වීමක් ලෙසයි.