Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

දකුණේ පැතිරෙන උණ රෝගයෙන් 13 දෙනෙකු මිය යයි

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මෙම උණ රෝගය පැතිර යන බවයි දකුණු පළාත් සෞඛ්‍ය අංශ පවසන්නේ.

රෝගය ආසාදනය වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දරුවන් 5 දෙනෙකු මිය ගිය අතර ඉන් තිදෙනෙකු මිය ගියේ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් හට ගත් රෝගී තත්ත්වයෙනි.

එමෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මිය ගිය බවයි පැවසෙන්නේ. මේ වන විට මෙම රෝග කාරක වැළදුණු 84 දෙනෙකුගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති අතර, ඉන් 27 දෙනෙකු ස්ථීර වශයෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම රෝග කාරකයට කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් මෙන්ම හෘද රෝගීන් වැඩි වශයෙන් ගොදුරු විය හැකි බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ. උණ රෝගය වැළදුණු කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලීමක් කරයි.