Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

20 - සංශෝධනයෙන් පසු ජනපති නාම මාත්‍රික නැහැ - ජවිපේ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත්වන ජනාධිපතිවරයා නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් නොවන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

20 වැනි සංශෝධනයේ මූලික අරමුණ ඒකාධිපති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. 20 සම්මත වීමෙන් පසුව එය බලාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පසුවය. එනම් වර්තමාන ජනාධිතිවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවය. එමෙන්ම 20 සම්මත වී ක්‍රියාත්මක වන්නේ වසර 2020 ජනවාරි 08 වැනි දින නම් එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව, ජවිපෙ යෝජනා කරයි.

ඒ අනුව රටට නව ජනාධිපතිවරයෙක්, නව කැබිනට් මණ්ඩලයක්, නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අවස්ථාව ලැබේ. නව පාර්ලිමේන්තුවෙන් 20 වැනි සංශෝධනය අනුව මසක් ඇතුළත මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත ජනාධිතිවරයා පත්වේ. ඔහු රටේ රාජ්‍ය නායකයායි.

ත්‍රිවිධ හමුදාව බාර සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයායි. දැනට තිබෙන එම බලය එලෙසම පවතී. ඒනිසා 20 සම්මත වීමෙන් පසුව ජාතික ආරක්‍ෂාව ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ. 20 න් පසුව පත්වන ජනාධිපතිවරයාට ඇමතිධුර දැරිය නොහැකියි. එමෙන්ම ඔහු කැබිනට් මණ්ඩලයේ නායකයා ද නොවෙයි. නමුත් අමාත්‍ය මණ්ඩලයේ තීරණ දැන ගැනීමටත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ලබා ගැනීමටත් ඔහුට අයිතිය තිබේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ හැකියාව ද ජනාධිපතිවරයාට හිමිවේ. කැබිනට් මණ්ඩලයේ තීන්දු-තීරණ පිළිබඳව කැබිනට් ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයාට විමසීම් කළ හැකියි. 1987 සම්මත වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල කිසිවක් 20 නිසා වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය ඔවුන් ඉවත් කිරීමේ බලය එලෙසම තිබේ. ඉඩම් බලතල, පොලිස් බලතල එලෙසම පවතී.