Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

හැරී - මේගන් මංගල්‍යයේ සුන්දර දසුන්

මහා බ්‍රිතාන්‍යයේ වින්ස්ඩෝර් මාලිගය සහ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කේන්ද්‍රකොට ගනිමින් හැරී කුමරුන්ගේත් මේගන් මාකෙල්ගේත් රාජකීය විවාහ මංගල උත්සවය මහත් උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

ශාන්ත ජෝර්ජ් දෙව් මැදුර විවිධ මල් වලින් අලංකාර කර තිබුණි. එම මල් පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රට වලින් ගෙනා ඒවා වීම සුවිශේෂී කරුණක් වශයෙන් සැළකේ. දෙව් මදුරට පිවිසෙන දොරටුව සරසා තිබුණේ සුදු රෝස මල්වලිනි. හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරිය සුදු රෝස මල්වලට ප්‍රිය කළ තැනැත්තියකි.


ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවැති විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ අමුත්තෝ 600 කට ආසන්න පිරිසක් රැස්වූහ. ඊට අමතරව, හැරී සහ මේගන් විසින් තෝරා ගත් බ්‍රිතාන්‍ය වැසියන් රැසකට ද දෙව් මැදුර ඉදිරියේ රැඳී සිටීමට අවසර ලබා දී තිබිණ.

නළු නිළියෝ සුප්‍රකට පුද්ගලයෝ, ගායක ගායිකාවෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද දෙව් මැදුරට පැමිණි අමුත්තන් අතර සිටියහ. පැමිණ අසුන් ගත් ආරාධිත අමුත්තන් අතර හොලිවුඞ් නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන ජෝර්ජ් ක්ලූනි සහ බිරිඳ , අසහාය පා පන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම් සහ බිරිඳ වික්ටෝරියා, නළු ටොම් හාඩි,  ඉඞ්රිස් එල්බා, ප්‍රවීණ ගායක එල්ටන් ජෝන්, ඇමෙරිකා නිවේදිකා ඔපෙරා වින්ෆි සහ මේගන් මාකෙල් රංගනයෙන් දායක වුණු ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවට සම්බන්ධ නිර්මාණකරුවන් සහ නළි නිළියෝ සිටියහ.

හැරී කුමරු පැමිණියේ සොහොයුරු විලියම් කුමරු සමඟය. විලියම් කුමරු හැරී කුමරුන්ගේ දෙවැනි මනමාලයා විය. දෙවැනි එලිසබත් මහ රැජින දෙව් මැදුරට පැමිණියේ පිල්ප් කුමරු සමඟය. මේගන් දෙව් මැදුරට කැන්දන් යමින්, හැරී කුමරුන්ට බාර දීම සිදු කළේ හැරී කුමරුන්ගේ පියා වේල්සයේ චාල්ස් කුමරුය.


බී.බී.සී. සහ ඇමෙරිකාවේ සී.එන්.එන්. ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකා රැසක් රජ මඟුල සජීවීව විකාශය කළේය. හැරී කුමරු සහ  මේගන් මාකෙල්ට සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යනුවෙන් ගෞරව නාමයක් ද පිරිනැමුණු බව බකිංහැම් මාලිගය පවසා ඇත.