Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

ලංකා විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

දිවයින පුරා ඇති සියලූම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 16 වැනි දින විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සදහා නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලමින් ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබාදීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03 ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

මෙම නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25ම සහ විදුලි ග්‍රීඩ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පවතී. කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි ග්‍රීඩ් උප පොළවල් 35ක පමණි. සෑම සම්ප්‍රේෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප්‍රමාණයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබදව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙමගින් ඉතා හොද දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම දෛනිකව ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වෙයි. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතී.