Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ඉන්ධන මිල මාස 2 කට වරක් සංශෝධනය වේ

මැයි මස 10 වනදා සිට ඉන්ධන මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් පසුව මින් ඉදිරියට ඉන්ධන මිල මාස 02 කට වරක් සංශෝධනයට ලක්කරනු ඇත. 

පෙට්‍රල්, ඩීසල් මිල වැඩිවීමට සාපේක්ෂව භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින් වැඩිවුවද, භූමිතෙල් පරිභෝජනය කරන විදුලිය සැපයුම් නැති සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවෙස් වලට හා වතුකරයේ ජනතාවට මෙන්ම විදුලිය සැපයුම් නැති පෙදෙස්වල නිවෙස් වලටද භූමිතෙල් පැරණි මිලටම තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.  එමෙන්ම, කුඩා ප්‍රමාණයේ එක්දින ධීවර යාත්‍රා භාවිත කරන ධීවර ප්‍රජාවටද මෙම භූමිතෙල් සහන තවදුරටත් ලැබෙනු ඇත.

ඒ අනුව, 47,555 ක් පමණ වන විදුලිය නැති පවුල් ඒකක වලට  මැයි මස 10 වනදා සිට සිට භූමිතෙල් සඳහා සහනාධාර ලබාදීමට නියමිත අතර, ඒ සඳහා වන ප්‍රථම ගෙවීම ජූනි මස සිදු කරනු  ඇත. විදුලිය නොමැති සමෘද්ධිලාභී සාමාජිකයන්ගේ පවුල් වලට, ඔවුන්ගේ සමෘද්ධි දීමනාවට අමතරව භූමිතෙල් සහනාධාර ගෙවීමට හැකිවන පරිදි මහා භාණ්ඩාගාරය විසින් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය වෙත ඒ සඳහා වන ප්‍රතිපාදන නිකුත් කරනු ලැබේ. බාහිර මෝටර් බෝට්ටු (Outboard Motors)භාවිත කරන ධීවරයින් 24,282 දෙනෙකු දිවයින පුරා සිටින බවට ගණන් බලා ඇති අතර එම ධීවර ප්‍රජාව සඳහාද අදාළ දීමනාව ජූනි මස සිට ගෙවනු ලැබේ.

ඉන්ධන වැඩි කිරීම සඳහා වන මිල සූත්‍රමය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව එය දැන් ක්‍රියාවට නංවා ඇත.  ඉන්ධන මිල සඳහා වන සිංගප්පූරුවේ මිල දර්ශකය පාදක කර ගනිමින් විනිමය අනුපාතයද සැලකිල්ලට ගෙන සෑම මාස දෙකකට වරක්ම ඉන්ධන මිල නිර්ණය කරනු ඇත.  විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමය අනුව විදේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම අනුව දේශීය වෙළෙඳපලේ ඉන්ධන මිලද අඩු වැඩි වනු ඇත. මෙම ක්‍රමය විනිවිදභාවයෙන් සිදුවන බැවින් ඕනෑම කෙනෙකුට ඉන්ධන මිල උච්ඡාවචනය පිළිබඳව  පූර්ව අවබෝධයක් ලබාගැනීමට ද හැකිවනු ඇති බව පැවසේ.