Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

මැලේසියාවේ රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, 2018 මැයි 01 වැනි දින ජොහොර් බාරු හි, සෙදිලි, තන්ජුන්ග් ගමෝහ්වල දී ශ්‍රී ලාංකිකයන් බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් 131 දෙනකු රඳවා ගනු ලැබූ බව මැලේසියානු රාජකීය පොලිසියේ විශේෂ ශාඛාව තහවුරු කර ඇති බවයි.

මෙම පුද්ගලයන් 131 දෙනාගෙන් 127 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අංක 1959/63 දරන ආගමන පනත යටතේය. ඔවුහු මේ වන විට ජොහොර් බාරුහි පෙකන් නෙනාස් ආගමන රඳවාගැනීම් මධ්‍යස්ථානයේ රඳවා ගනු ලැබ සිටිති. ඉතිරි පුද්ගලයන් සිවුදෙනා 2007 පුද්ගල ජාවාරම් සහ සංක්‍රමණිකයන් අවහරණය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත.

මේ වන විට මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහූ අදාළ මැලේසියානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටිති. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 131 දෙනාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කර ගනිමින් පවතින අතර ලැබී ඇති මූලික තොරතුරු අනුව ඔවුන්ගෙන් 43 දෙනකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබෙන බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබුණු විට සුදුසු පරිද්දෙන් එම තොරතුරු ජනතාව වෙත දැනුම් දෙනු ඇති අතර එසේ ලබා දෙන තොරතුරු දැනට මේ සම්බන්ධයෙන් කෙරෙමින් පවතින විමර්ශන කටයුතු සදහා බාධාවක් නොවිය යුතුය යන්න සැලකිල්ලට ගනිමින් එම දැනුම්දීම කෙරෙනු ඇති.