Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

මහතීර් මොහොමද්ට විශිෂ්ට ජයක්

මැයි මස 09 වැනි දින පැවැති මැ‍ලේසියානු මහ මැතිවරණය විශාල ජාත්‍යන්තර අවධානයක් දිනාගැනීමට සමත්ව තිබේ. එයට ප්‍රධානම හේතුවක් වී තිබෙන්නේ වසර 15 කට පෙර අගමැති ධුරයෙන් සමුගත්, නූතන මැ‍ලේසියාවේ පියා ලෙස සැලකෙන මහතීර් මොහොමඩ් වයස අවුරුදු 92 දී නැවත වරක් මැතිවරණයට ඉදිරිපත්වීමය.

ඔහු මේ ආකාරයෙන් දේශපාලන ‍පොරපිටියට අවතීර්ණ වන්නේ 2003 වසරේ අගමැති ධුරයෙන් සමුගැනීමෙන් අනතුරුවය. 1981 සිට 2003 දක්වා වසර 22 ක කාලයක් ඔහු මැ‍ලේසියාවේ අගමැති ධුරය දැරුවේය. මෙවර ඔහු මැතිවරණයට ඉදිරිපත් වන්නේ එම වසර 22 තුළම තමා නායකත්වය දැරූ පක්ෂයට, එනම් එක්සත් මැ‍ලේවරුන්ගේ ජාතික සංවිධානය (United Malays' National Organization) ට විරුද්ධව වීම තවත් විශේෂත්වයකි.


මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගැනීමට සමත් විය. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ දශක ගණනාවක් මුළුල්ලේ එරට බලය හොබවන බරිසාන් ජාතික සන්ධානයට අභියෝග කරමිනි. එම පක්ෂය මැලේසියාව නිදහස ලැබූ 1957 වසරේ සිට බලයේ පසුවේ. දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් පසු මහතීර් මොහොමද් විපක්ෂයේ කටයුතු කළේය. මහතීර් මොහොමද්ගේ ප්‍රවාදියා වූයේ අගමැති නජීබ් රාසක්ය.

නජීබ් රසාක්ට දේශපාලන ගුරුහරුකම් කියා දී ඇත්තේ මහතීර් මොහොමද්ය. කෙසේ වෙතත් නජීබ් රසාක්ට දූෂණ චෝදනා එල්ල වී ඇති නිසා පරාජයෙන් පසු මෙතෙක් ඔහු කිසිවක් ප්‍රකාශ කර නොමැත. තම සන්ධානය “නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා” යැයි ජයග්‍රහණයෙන් පසු මහතීර් මොහොමද් පවසා තිබේ. මහතීර් මැතිවරණයට ඉදිරිපත් වූයේ “පකතාන් හරපාන්” පක්ෂය ප්‍රමුඛ “බලාපොරොත්තුවේ සන්ධානය” නැමැති සන්ධානයෙනි. මහතීර් මේ වන විට නායකත්වය දරන්නේ 2016 වසරේම ඔහු විසින් පිහිටුවා ගන්නා ලද මැලේසියානු එක්සත් ස්වදේශීය පක්ෂයේ යි.

එම පක්ෂය ද ඇතුළත් වන සන්ධානයක් මෙවර මැතිවරණයේදී වත්මන් අගමැති නජීබ් රසාක්ගේ සන්ධානයට එරෙහිව තරග කරයි.
මහතීර් මොහොමඩ් මැලේසියාවේ කැපී පෙනෙන නායකයෙකු ලෙස කීර්තියක් අත් කරගත්තේ එරට වඩාත් දියුණු, ධනවත්, නවීන රාජ්‍යයක් බවට පත්වූයේ ඔහුගේ කාලයේ වූ බැවිනි. එක දිගට පස් වතාවක් මැතිවරණ වලින් ජය ගනිමින් ඔහු මැලේසියාව තුළ විශාල බලයක් තහවුරු කරගත්තේය. කෙසේ නමුත් එම කාලය තුළ එරට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආදිය සම්බන්ධයෙන් මර්දනකාරී වාතාවරණයක් ඇති වූ බවද ප්‍රසිද්ධ කාරණයකි. විශේෂයෙන් ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම සඳහා මහතීර් නිර්දයව කටයුතු කළ බවට චෝදනා එල්ල වෙයි.


1999 වසරේ දී, ඔහුගේ උප අගමැතිවරයා ලෙස හුන් අන්වර් ඉබ්රහිම් සිරගත කිරීමට කටයුතු කළ බවට එල්ල වන චෝදනාව ඒ අතරින් කැපී පෙනෙන්නකි. අන්වර්ට එරෙහිව එල්ල කළ චෝදනා අතර ප්‍රධාන තැනක් ගත්තේ සමලිංගික සබඳතාවක් පිළිබඳ එකකි. නමුත් ඔහු මේ ආකාරයෙන් සිරගත කිරීම බටහිර රටවල් ඇතුළු විවිධ පාර්ශව විසින් හඳුන්වන ලද්දේ දේශපාලන පලිගැනීමක් වශයෙනි. ඒ වනවිට අන්වර් සහ මහතීර් අතර යම් යම් ගැටුම් ඇතිවෙමින් තිබූ බව දක්නට ලැබිණි.

මහතීර් බටහිර රටවල් සමග එතරම් ඇඟෑළුම්කමක් නොදැක් වූ කෙනෙකු වූ අතර අන්වර් එයට වෙනස් ආකල්පයකින් කටයුතු කළ කෙනෙකු විය. තමා බලයට පත් වුවහොත් අන්වර් ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගෙන ඔහුට අගමැති ධුරය පවරා ඉවත් වන බව ද මහතීර් ප්‍රකාශ කර තිබේ. මේ අතර අන්වර්ගේ පාර්ශ්වයෙන්ද ප්‍රකාශ වී ඇත්තේ මහතීර් ඔහුට එරෙහිව බොහෝ විරුද්ධකම් කළ කෙනෙකු වුවද මේ මොහොතේ මැලේසියාවේ අනාගතය වෙනුවෙන් ඔහු සමග එක්ව සටන් කිරීමට තීරණය කළ බවයි.