Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

ලොව සෑම විනාඩි දෙකට වරක් අවුරුදු 05ට අඩු දරුවෙකු මැලේරියාව නිසා ජීවිතක්ෂයට පත් වේ

ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය යළිත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ වන විට ශ්‍රී ලංකාව මැ‍ලේරියාව තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත. මැ‍ලේරියාව යනු, මාරාන්තික රෝගයක් මෙන්ම දිගු කාලීන සමාජීය හා ආර්ථිකමය ප්‍රතිවිපාක ගෙන දෙන විනාශකාරී රෝගයකි.

ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් කිහිපයකම මැ‍ලේරියා රෝගීන් සිටීම හේතුවෙන් යළි මෙරට මැ‍ලේරියා රෝගය ව්‍යාප්ත විය හැකි බව අනිල් ජාසිංහ මහතා පෙන්වා දේ. මැ‍ලේරියාව බහුල රටවල සංචාරය කරන සහ එවැනි රට වලින් මෙරටට පැමිණෙන සංඛ්‍යාව ඉහළ යාමත්, ලංකාව පුරා මැ‍ලේරියාව පැතිරීමේ හැකියාව ඇති වාහක මදුරුවා සිටීමත් නිසා ශ්‍රී ලංකාව නිරතුරුවම නැවත මැ‍ලේරියාව ඇතිවීමේ අවදානමක සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. සංචාරකයින් හේතුවෙන් සෑම වසරකම මැ‍ලේරියා රෝගීන් 50 දෙනෙක් පමණ විවිධ පළාත් වලින් මේ වන විට වාර්තා වේ.

මේ නිසා ආනයනික මැ‍ලේරියාව හඳුනා ගැනීම හා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දේ. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය ගත යුතු සියලු පියවර ගන්නා බව, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ලෝක මැලේරියා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සෑම විනාඩි දෙකටම ලෝකයේ අවුරුදු 05ට අඩු දරුවෙකු මැලේරියාව නිසා ජීවිතක්ෂයට පත් වේ.