Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ගෙන් උපදෙස්

රට තුළ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී. 2018 - 2037 කාල පරාසය සඳහා සකස් කරන ලද දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිතුමා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත උපදෙස් දේ.

දිවයිනේ ඉදිරි විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 කාලය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. අදාළ සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳ ගැටලු ඇත්නම් සාකච්ඡා කර, පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී ඇත. එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මහජනතාවගේ ගැටලුවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළැඹීම අත්‍යාවශ්‍ය වන බවයි.