Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

තෙල් මිල වැඩි නොකරන බවට සහතිකයක්

ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි, ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කරයි. ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත්, මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව ඉන් පීඩනයට පත්කිරීමට අදහස් නොකරන බව, අමාත්‍යවරයා පවසයි.

24 වැනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම නියමිතව තිබූ ඉන්ධන මිල සුත්‍රය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් නොවූ බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉදිරි කාලයේදී ඉන්ධන මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලද පසුව ඊට සාපේක්ෂව ඉන්ධන මිල වෙනස් කෙරෙනු ඇති බව සඳහන්.

මේ අතර ලෝක වෙළඳපළේ ඉන්ධන මිල වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර තුනකට පමණ පසුව තෙල් මිල මෙවැනි අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව පැවසේ. අවසන් වරට බොර තෙල් මිල මෙවැනි අගයකින් ඉහළ ගියේ 2015 වසරේ මාර්තු මාසයේදීය. ඉරානය හා ඇමරිකාව අතර ඉහළ මට්ටමින් පවතින දේශපාලන උණුසුම සහ මැද පෙරදිග උණුසුම් දේශපාලන වාතාවරණය මෙම තත්වයට හේතූ වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.