Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.



තමාගෙන් පසු තම පුත් චාල්ස් කුමරු වගකීම් බාරගෙන කටයුතු කරන දැකීම තම බලාපොරොත්තුව යැයි මහ රැජින පවසා ඇතැයි ද බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කරගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ලන්ඩනයට පැමිණ සිටින එම මණ්ඩලයේ සාමාජික රටවල නායකයන් වින්ඩ්සර් මාලිගයේ දී වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව සාකච්ඡා පවත්වා තිබෙන අතර මීට පෙර අවස්ථා කිහිපයදීත් එවැනි සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා විය. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුරු උරුමයක් නොවන අතර එය සාම්ප්‍රදායිකව චාල්ස් කුමරුට පැවරෙන්නේ නැත.

ප්‍රධානී තනතුර සාමාජික රටවල් 53 නායකයන් අතර හුවමාරු කිරීම සුදුසුයි යනුවෙන් ද මෙම සාකච්ඡාවලදී යෝජනා වී තිබේ. බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුර පිරිනැමීමට සහාය දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් දැක්වීය. දින දෙකක් මුළුල්ලේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සමගාමීව මෙම සාකච්ඡා පවත්වා තිබෙන අතර ඊට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල ජනාධිපතිවරුන් 46 දෙනකු සහ ඉතිරි රටවල් 7 ක විදේශ කටයුතු අමාත්‍යවරු සහභාගී වූහ.

මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධයෙන් අර්බුදයක් සහ විවේචනයක් ඇති වී තිබේ. බිලියන 2.4 ක ජනගහනයක් නියෝජනය කරන පොදු රාජ්‍ය මණ්ඩලය ස්ථාපිත කර ඇත්තේ කුමටද එහි අරමුණ කුමක් ද එහි කාර්යභාරය කුමක් ද යන්න සම්බන්ධයෙන් විවේචනයක් ඇති වී තිබේ.